ටජ්මහල
ටජ්මහල ආදරයේ සංකේතයයි. යුනෙස්කෝ ලෝක උරුමයක් ද වන ටජ්මහල පිහිටා ඇත්තේ අසල්වැසි ඉන්දියාවේය. නූතන පුදුම හතට අයත් අපට ආසන්නයෙන්ම ඇති ‘පුදුමය’ වන්නේ ද ටජ්මහලය. මෙය කිරිගරුඬ සොහොන් ගැබකි. ටජ්මහල සම්බන්ධයෙන් කනගාටුදායක පුවත් මේ වනවිට අසන්න ලැබෙයි. ඒ, එහි ඇති කිරිගරුඬ පැහැය කෙමෙන් කෙමෙන් වෙනස් වෙමින් පවතින බවත්, එය අවර්ණ කොළ පැහැයක් ගන්නා බවත්ය. ටජ්මහල පිහිටා ඇත්තේ යමුනා නදිය අසබඩය. යමුනා නදිය මේ වනවිට දූෂණය වී ඇත. ඒ, ඊට එක් කරන අපද්‍රව්‍ය හේතුවෙනි. නදිය මෙසේ දූෂණය වීම, ටජ්මහලට අනතුරකි. ටජ්මහල අව පැහැ ගැන් වී ඇත්තේ මේ නිසාය. එපමණක් නොව, අපවිත්‍ර නදිය ආශ්‍රිතව කෘමි සතුන් බෝ වී ඇති අතර උන් ටජ්මහලේ බිත්තිවල වැසීම හේතුවෙන් ද ටජ්මහල අව පැහැ ගැන්වෙන බව පැවැසෙයි. ටජ්මහලේ පැහැය වෙනස්වීම් සම්බන්ධයෙන් ඉන්දියානුවන් බොහෝ දෙනා ඉන්දීය මධ්‍යම රජයට පමණක් නොව, ටජ්මහල පිහිටි අග්‍රා අයත් නවදිල්ලි බලධාරීන්ට කනස්සල්ල පළ කර ඇත. කෙසේ නමුත් එයින් ඵලක් නොවිණි. ඒ අනුව, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊට මැදිහත් විය. ටජ්මහලේ පැහැය වෙනස් වීම සම්බන්ධයෙන් වහා සොයා බලා, එය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය රජයට නියෝග කළේය. ඉන්දීය විශේෂඥයන්ට ටජ්මහල ආරක්ෂා කරගැනීමට නොහැකි නම්, විදෙස් විශේෂඥයන් ගෙන්වා හෝ එය ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය. ටජ්මහල මුස්ලිම් අධිරාජ්‍යයකු විසින් ඉදිකළ සොහොන් ගැබකි. ඉන්දියාවේ හින්දු බහුතරය ටජ්මහල ආරක්ෂා කරගැනීමට තැකීමක් නොකරන්නේ එහෙයිනි. එපමණක් නොව, ටජ්මහල පිළිබඳ ඉතිහාසය, පාසල් ඉතිහාස පොත්වලින් ඉවත් කිරීමට ද හින්දු ජාතිකවාදීන් කටයුතු කර ඇති බව පැවැසෙයි.
නූතන පුදුම 7ට අයත් ටජ්මහල ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටි සොහොන් ගැබකි. මෙය කිරිගරුඬ මන්දිරයකි. ටජ්මහල ඉදිකර ඇත්තේ ෂා ජහාන් මෞගල් අධිරාජ්‍යයාය. ඒ, ඔහු බෙහෙවින් ආදරය කළ ඔහුගේ දේවිය මුම්ටාස් මහාල්ගේ දේහය තැන්පත් කිරීම සහ ඇය සිහිවීම සඳහාය. ඉන්දියාවේ, ඉස්ලාමීය ගෘහ නිර්මාණ කලාවේ මහිමය ලොවට කියාපාන සංකේතය ටජ්මහලය. ටජ්මහල ඉදිකර ඇත්තේ පර්සියානු (වර්තමානයේ ඉරානය), තුර්කිය සහ ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පීන්ගේ එකමුතුවෙනි.
1983 වසරේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ටජ්මහල නම් කෙරුණි. ටජ්මහල ගොඩනැගිලි සංකීර්ණයකි. කිරිගරුඬ බුබ්බුලාකාර කොත සහිත සොහොන් ගැබ මෙහි ප්‍රධාන අංගය ලෙස සැලකෙයි. ටජ්මහලේ ඉදිකිරීම් 1632 දී පමණ ආරම්භ කළ අතර චිත්‍ර හා කැටයම් ශිල්පීන් දහස් ගණනකගේ දායකත්වයෙන් 1653 දී පමණ ඉදිකිරීම් අවසන් වූ බව පැවැසෙයි. ෂා ජහාන් අධිරාජ්‍යයාගේ මඟපෙන්වීම යටතේ, ඉදිකිරීම්වලට දායක වුණු ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පීන් ලෙස සැලකෙන්නේ අබ් උල් කරීම්, මාමුර් ඛාන්, මක්‍රමත් ඛාන් යැයි ද පැවැසෙයි. ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස සැලකෙන්නේ උස්ටාඩ් අහමඩ්ල හාවුරිය. ෂා ජහාන් මෞගල් අධිරාජ්‍යයාගේ එකම බිරිඳ මුම්ටාස් දේවිය නොවීය. කෙසේ නමුත් ඔහු වැඩියෙන්ම ආදරය කළ දේවිය ඇයයි. ටජ්මහල ප්‍රේමයේ සංකේතයක් ලෙස ද සැලකෙන්නේ එහෙයිනි. මුම්ටාස් දේවිය, ෂා ජහාන් අධිරාජ්‍යයාගේ තෙවැනි බිරිඳ ය. ඇය 1631 වසරේ දී මියගියේ දරු උපතේදී ය. ඇගේ වියෝව ෂා ජහාන් අධිරාජ්‍යයාට මහත් කම්පනයක් ගෙන දුන්නේ යැයි ඉන්දීය ඉතිහාස කතාවල සඳහන් වෙයි.
ටජ්මහල් ගොඩනැඟිලි සංකිර්ණයේ ප්‍රධාන අංගය ලෙස සැලකෙන සොහොන් ගැබ සුදු පැහැති විශාල චතුරස්‍රාකාර පාදමක් මත ඉදිකර තිබේ. මෙය බොහෝ මෞගල් ගොඩනැඟිලි මෙන්ම ඉවාන් හෙවත් ආරුක්කු හැඩැති දොරටුවකින්, විශාල බුබ්බුලාකාර කොතකින් සහ කොත් කැරැල්ලකින් සමන්විතය. පාදමේ සැකිල්ල ඉතා විශාල වූත් කුටීර සහිත අසමමිතික අෂ්ටාස්‍ර හැඩයක් ගනී. මෙහි එක පැත්තක් මීටර් 55 (අඩි 180) පමණය. මෙම සෑම පෙදෙසකින්ම විශාල ආරුක්කු මාර්ග තනා ඇති අතර ආරුක්කු හැඩැති සඳළුතල නිමවා ඇත්තේ ගොඩනැඟිල්ලේ සෑම පැත්තක්ම සමමිතික වන අයුරිනි. ප්‍රාසාද හතරක් ගොඩනැගිල්ලේ පාදමේ කොන් හතරේ පිහිටයි. ප්‍රධාන කුටීරයේ මුම්ටාස් දේවිය පමණක් නොව, ෂා ජහාන් රජුගේ ‘බොරු’ සොහොන් ගැබ ඉදිකර ඇත. සැබෑ සොහොන් ගැබ ඇත්තේ ඊට පහළිනි.
කිරිගරුඬ බුබ්බුලාකාරය මෙම මන්දිරයේ විශේෂම අංගය වේ. එය මීටර් 35 (අඩි 155) පමණ උසය. මෙය සිලින්ඩරාකාර හැඩැති මීටර් 7 (අඩි 23) පමණ උස සිංගාරමක් මත පිහිටයි. මෙහි හැඩය නිසාම ලූනු ගෙඩියේ හැඩය ගත් බුබ්බුලාකාරය ලෙස හදුන්වයි. එහි මුදුන නෙළුම් මල් මෝස්තරයෙන් නිමකර ඇත. මෙම බුබ්බුලාකාරයෙහි හැඩය ඉස්මතුවීම සඳහා තවත් කුඩා බුබ්බුලාකාර සතරක් කොන් සතරෙහි නිමකර ඇත. එහි වහලය ස්ථම්භවලින් ඔසවාගෙන ඇති අතර එමඟින් ආලෝකය ගොඩනැඟිල්ල තුලට ගමන් කරයි. ප්‍රධාන බිත්ති අග උල් වූ තුඩුවලින් අලංකාර කර ඇති අතර එමඟින් ගොඩනැඟිල්ලට උස් බවක් එක්වී ඇත. බුබ්බුලාකාරය මත සාම්ප්‍රදායික හින්දු සහ පර්සියන් මෝස්තරයෙන් හැඩ ගැන්වූ කොත් කැරැල්ලකි. මෙම කොත් කැරැල්ල මුලින් රත්‍රන්වලින් නිමවා ඇති අතර 19 සියවස මුල් භාගයේදී එය තඹවලින් නිමවූ කොත් කැරැල්ලකට ප්‍රතිස්ථාපනය කර ඇත. මෙයට හින්දු හා පර්සියන් නිර්මාණ ශෛලියන් මුසු වී ඇති අතර මෙහි මුදුනේ හඳක හා ඉස්ලාමීය නිර්මාණයකින් යුක්ත වේ. මෙම නිර්මාණයේ හදේ තුඩු හා කොතෙ තුඩු එක්වූ කල ශිව දෙවියන්ගේ සලකුණක් වන ත්‍රිශූලය සිහි කරවනු ලබයි. බුබ්බුලාකාරය හා තැන්පත් ගර්භය තුළ වැලිගල් සහිත මතුපිටෙහි විශිෂ්ට ජ්‍යාමිතික චිත්‍ර, කතිර රටා හා කැටයම්වලින් සමන්විතය. සුදු පැහැති ඔබ්බවන ලද කැටයම් වැලිගල් මතද කළු පැහැති ඔබ්බවන ලද කැටයම් කිරිගරුඬ මත ද නිමකර තිබේ. හුණු බදාමයෙන් කළ කොටස් විචිත්‍ර ලෙස වර්ණ ගන්වා ඇති අතර පොළොව සඳහා එකින් එකට වෙනස් වූ පිඟන් ගඩොල් රටා යොදාගෙන ඇත. පහළ මට්ටමේ ඇති බිත්ති පේකඩ නම් මුර්ති නිර්මාණ ශිල්පයෙන් අලංකාර කර ඇත. මෙහි කිරිගරුඬ පසුබිම ඔප දමා ඇති අතර එමඟින් කැටයම් වඩාත් විස්තර සහිතව දිස්වෙයි. පහළ බිත්ති කොටස්, ආරුක්කු දෙපස කොටස් ජ්‍යාමිතික හැඩ, මල් හා පලතුරු වැල්වලින් අලංකාර කර ඇති අතර මේ සඳහා සුර්යකාන්ත පාෂාණය, හරිතමණි පාෂාණය හා කහ ගරුඬ යොදාගෙන ඇත.