Monday 10 July 2023

සීගිරිය

 සීගිරිය

sigiriya

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයට ආසන්නයේ පිහිටා ඇත. කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමළුව හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර 06ක් පමණ දුරින් සීගිරිය පිහිටා ඇත. මුහුදු මට්ටමෙන් අඩි 1214ක් පමණ උසින් ද අවට භූමියෙන් අඩි 650ක් උසින් ද තනි පර්වතයක් ලෙස සීගිරි බලකොටුව පිහිටා ඇත. පර්වත පාදයේ බටහිර පැත්තේ ඇති බෞද්ධ ලෙන් විහාරයක නටඹුන් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයට අයත්වන නිසා ක්‍රි.පූ. 3 වන සියවසේ පටන් පැවති බව සඳහන් වේ. එසේ වුවද සීගිරිය ලෝක ප්‍රකට කලා නිකේතනයක් වූයේ 1 වන කාශ්‍යප (ක්‍රි.ව.477-495) එය තම රාජධානිය කර ගැනීමෙන් අනතුරුවයි. ආරක්ෂිත බලකොටුවක් ලෙස රාජමාලිගයක් හා නාගරික සැලසුමක් ගොඩනගා ගනිමින් ආලකමන්දාවේ කුවේරයා ලෙස ජීවත් වූ බව මහාවංශය සඳහන් කරයි. මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ වලට අනුව පුරාවිද්‍යාඥයින් විසින් සීගිරියේ ඵෙතිහාසික අවධි 08ක් හඳුනාගෙන තිබේ.

එනම්, ආදී ආරාමික අවධිය - ක්‍රි.පූ.3,2 වන සියවස්හි සිට ක්‍රි.ව.1 වන සියවස දක්වා, සීගිරිය පර්වතය පාමුල වූ කටාරම් සහිත ගුහා සහ ඒවා සඟ සතුකොට පිදූ බව දැක්වෙන බ්‍රාහ්මී ශිලා ලිපි මේ යුගයට අයත්ය. අවධිය පූර්ව කාශ්‍යප යුගය - ක්‍රි.ව.1 සියවසේ සිට 5 වන සියවස දක්වා. මේ වකවානුවේ ඉතිහාසය අවිනිශ්චිතය. අවධිය - කාශ්‍යප යුගය - ක්‍රි.ව. 477-495 අවධිය - පශ්චාත් කාශ්‍යප යුගය - ක්‍රි.ව. 6-7 සියවස් දක්වා වූ පසු ආරාමික යුගය පශ්චාත් කාශ්‍යප යුගය අවධිය - අත්හැරීම් යුගය - ක්‍රි.ව. 13-17 සියවස් දක්වා අවධිය නුවර යුගය - 17-19 සියවස් අවධිය - නූතන පුනරුදය - 1830 ගණන්වල සිට 70 දශකය දක්වා ක්‍රි.ව. 5 වන සියවසේ ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් තාක්ෂණය, භූමි දර්ශිත උද්‍යාන කලාව සහ ජල කලමනාකරණයේ එක්තැන්වීම මැනවින් නිරූපණය කරන ස්ථානයක් ලෙස හඳුන්වාදිය හැකිය.

11982 දී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පුරාවිද්‍යා භූමියකි. සීගිරිය සංකීර්ණ කොටස් කීපයකි. සීගිරිය පර්වතය හා ඒ මත ඇති මාලිගාව ඇතුළු නුවර හා මාලක ජල උද්‍යාන, උයන්, දිය අගල් හා පවුරු වලින් සමන්විත බටහිර භූමි භාගය දිය අගල් හා පවුරු සහිත නැගෙනහිර භූමි භාගය මෙම අලංකාර ඉදිකිරීම් වලට අමතරව සීගිරිය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනීය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පත්ව ඇත්තේ එහි ඇති ලෝක ප්‍රකට බිතු සිතුවම් හා කැටපත් පවුර මත ලියා ඇති සිය ගණනක් වූ කුරුටු ගී නිසාය.



අසිරිමත් සීගිරි බිතු සිතුවම්

සීගිරි බිතු සිතුවම්වල දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ ඉඟටියෙන් උඩ නග්න රූප පමණක් සිතුවම් කර තිබීම යි. එම චිත්‍ර ඇඳීම සඳහා වර්ණ සකසා ගැනීමේ දී වියළි කලාපයේ බහුලව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිතා කර තිබීම සුවිශේෂී ලක්ෂණයක්. සීගිරි චිත්‍ර ඇඳීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කර තිබෙන්නේ රතු, කහ, කොළ, සහ කළු යන වර්ණයන් හතර යි. එහි දී නිල් වර්ණය භාවිතා කර නොතිබීම සුවිශේෂී ලක්ෂණයි.

කැටපත් පවුරට අඩි 44ක් පමණ ඉහළින් පිහිටා ඇති සිතුවම් සහිත ලෙන අඩි 60ක පමණ දිගකින් යුක්ත යි. සිතුවම් ඇඳීම සඳහා එහි තිබෙන රළු බිත්තිය සුමට කර ඇත්තේ සුවිශේෂී බදාමයක් භාවිතා කරමින්. බදාම සෑදීම සඳහා දිවුල් ලාටු, මකුළු මැටි, මී පැණි, හුණු යනාදිය භාවිත කළ අතර එම බදාම සුමට කරන ලද්දේ දහයියා සහ පොල් කොහු සමග කිරිමැටි හා මැටි මිශ්‍ර කර සාදාගත් බදාමයකින් බැව් පුරාවිද්‍යාඥ ආනන්ද කුමාරස්‌වාමි මහතා පෙන්වා දෙයි. වර්ණ නිපදවීමේ දී ගොකටු කිරි සහ රණවරා ආදී ශාක යුෂ වර්ග භාවිතා කළා. එසේම චිත්‍ර වර්ණ ගැන්වීමේ දී බුරුසු සාදා ඇත්තේ වැටකෙයියා කෙඳිවලිනි. සීගිරි බිතු සිතුවම් ඇඳීමේ දී තෙත බදාම තාක්‌ෂණයත් වියළි බදාම තාක්‌ෂණයත් භාවිත කර තිබීම සුවිශේෂී ලක්ෂණයිකි.

සීගිරි බිතු සිතුවම් පිළිබඳව පළවුණු විවිධ මත 

සීගිරි බිතු සිතුවම්වලින් නිරූපණය වන්නේ කුමක්දැ යි කියා තවමත් නිශ්චිතව හඳුනාගෙන නැහැ. එදා සිට අද දක්වා කීර්තිමත් පුද්ගලයන් කිහිපදෙනෙකුම සීගිරි බිතු සිතුවම් පිළිබඳව විවිධ මතවාදයන් පළ කර තිබෙනවා. පහත දැක්වෙන්නේ එම පුද්ගලයන් සීගිරි බිතු සිතුවම් පිළිබඳව ඉදිරිපත් කළ මතයන් කිහිපය යි. 

H.C.P බෙල් 

H.C.P බෙල් සඳහන් කරන්නේ මෙම සිතුවම්වලින් දැක්වෙන රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත්, නිල්වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත් ය. ළඳුන්ගේ අත මල් හා මල් බඳුන් ඇති හෙයින් ඔවුන් සීගිරිය ආසන්නයේ ඇති පිදුරංගල විහාරය වැඳීමට යන බව ඔහුගේ මතයෙහි වැඩිදුරටත් සඳහන්

සෙනරත් පරණවිතාන

රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්, නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වැහි වළාකුළුත් නිරූපණය කෙරෙන බව මහාචාර්ය සෙනරත් පරණවිතානගේ මතය යි.

ආනන්ද කුමාරස්වාමී 

සීගිරි චිත්‍රවලින් උඩුකය පමණක් දැක්වෙන නිසාත් වළාකුළුවලින් මතු වී එන ස්වරූපයක් නිර්මාණය කොට තිබෙන නිසාත් ඔවුන් සීගිරි අන්තඃපුර කාන්තාවන් නොවන බව ඔහු පැවසුවා. ඔහුට අනුව මෙහි සිතුවම් කර ඇත්තේ දිව්‍ය අප්සරාවන් ස්වකීය සේවිකාවන් සමඟ සීගිරි ගල මුදුනට පැමිණ මල්වැසි වස්සවන ආකාරය යි.

මාර්ටින් වික්‍රමසිංහ

සුප්‍රසිද්ධ ගත් කතුවරයෙකු වුණු මාර්ටින් වික්‍රමසිංහගේ මතය වුණේ රජතුමා ගේ බිසෝවරුන් හා සේවිකාවන් ජල ක්‍රීඩා කරන ආකාරයක්‌ මේ චිත්‍රවලින් නිරූපනය කරන බවයි.

නන්දදේව විජේසේකර 

නන්දදේව විජේසේකරගේ මතය වුණේ කාශ්‍යප රජුගේ වියෝව නිසා වැළපෙන ඇතොවුර බිසෝවරුන් මෙම සිතුවම්වලින් නිරූපණය වන බවයි.










7 comments:

සීගිරිය

  සීගිරිය මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයට ආසන්නයේ පිහිටා ඇත. කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමළුව හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර 06ක් පමණ...